“ගමන‘ ගැන වදනක් තම

ගමන සංචාරක හා ගවේෂණ කණ්ඩායම යනු සාමාන්‍ය සාම්ප්‍රදායික සංචාරක සංස්කෘතියෙන් බැහැරව විධිමත් අරමුණක් ඔස්සේ සිය සංචාරයන් මෙහෙයවන දේශීය සංචාරක ආයතනයකි.

පාරිසරික, සංස්කෘතිමය, ආගමික පසුබිමක් සහිත මෙරට විවිධ ස්ථාන වල තොරතුරු සොයා යාම අපගේ අරමුණ වන අතර එම සංචාරක හා ගවේෂණ පර්යේෂණ චාරිකාවල වාර්තා සහ සටහන්ද, ඡායාරූප හා වීඩියෝ ද සමාජය සමඟ බෙදාහදා ගැනීමට මෙම බ්ලොග් අඩවිය භාවිතා කරනු ඇත.

මෙම අඩවියේ පළවන දෑ වෙනත් අවකාශයක පළකිරීම තහනම් නොවන නමුදු එම පළකිරීම් අවසානයේ උපුටාගත් සබැඳිය පළකිරීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.


Wednesday, January 22, 2014

ගමන 5 - අහිමි සිල්පර සොයා අපි ගිය හැටි

                                         

ගමන වැඩසටහන කලින් සැළසුම් කරපු විදියටම 13දා රාත්‍රී තැපැල් දුම්රියෙන් ආරම්භ වෙලා 15දා 1008 ස්පෙෂල් දුම්රියෙන් කොළඹට ඇවිත් අවසන් වුණා. අපේ සමූහයේ සාමාජිකයින් වන අසුරංග, දමින්ද, දර්ශණ, දුෂාන්ත, චනුක සහ මමත් සහභාගී වන තෙක් අපේ සාමාජිකයෙකු නොවූ යසිත් තරංග සහෝදරයත් සහභාගී වුණා. හදීසි හේතුවක් මත අපේ චතුර සහෝදරයා සහභාගී නොවුණත් අපේ පිරිසට එදා රෑ කැමට බත්පාර්සලුත් පහුවදා උදේට පාන් එහෙමත් අරගෙන කොටුව දුම්රිය ස්ථානය ආවෙ සුපුරුදු ලෙන්ගතු කමත් අරගෙන. 

රාත්‍රී තැපැල් දුම්රිය කොටුවෙන් විනාඩි 15ක ප්‍රමාදයකින් ගමන් ආරම්භ කළා. අපේ දර්ශණ සහෝදරයාගේ සම්බන්ධකම් හරහා අපේ පිරිසට වේයන්ගොඩ ඉඳල පේරාදෙණිය වෙනකම් මාරුවෙන් මාරුවට දුම්රිය එන්ජිමේ ගමන් කරන්නත් අවස්ථාව ලැබුණා. පේරාදෙණියෙදි චතුරගේ බත් පාර්සලුත්, අසුරංග ගෙනත් තිබුණු ආප්පත්, යසිත් ගෙනත් තිබුණු නූඩ්ලසුත් රාත්‍රී කෑම විදියට අරගෙන ආපහු කෝච්චියට නැංගා. රඹුක්කන ඉඳල ක්‍රියාත්මක වුණූ දමින්දයගෙ කැමරාවෙ ෆ්ලෑෂරයට යාබද අසුන් වල අඩ නින්දෙ හිටපු උදවිය කඩින් කඩ ඇහැරෙද්දි මම නම් ඊට ඉස්සරහ අසුනට වෙලා කඩින් කඩ නිදා ගත්තා. චනුකයි දර්ශණයි නම් නිදා ගන්නෙ නැතිව අනිත් දෙන්නවත් ඇහැරවල තියාගෙන කාඩ් සෙල්ලම් කරේ නානුඔය පහුවේවි කියල බයට වෙන්න ඕන. දීර්ඝ නිවාඩුවක් නිසා හැටන් දක්වා උපරිම සෙනඟක් හිටියා. ඒ නිසා පැයක පමණ ප්‍රමාදයකින් උදේ 4ට විතර අපි නානුඔයට ළඟාවුණා. පරණවිතාන මහත්තයට අයිති 785 එන්ජිමේ ඉස්සරහට වෙලා ෆොටෝ දෙක තුනක් එහෙම ගත්තේ එන්ජිමට අතවත් තියන්නේ නැතිව. ඒ ඇයි කියලා අසුරංග මල්ලිගෙන් තමයි ඉතින් අහන්න ඕන. 

ඊට පස්සෙ නානුඔය ඉස්ටේෂමේ අඹේවෙල පැත්තෙ කෙළවරේ ඉඳල කැන්ටිම තියෙන තැන හොයාගෙන අනික් කෙළවරටම පයින් ගියේ අපේ ගමනෙ අරමුණ වුණ උඩුපුස්සැල්ලාව මාර්ගයේ ඇරඹුම සනිටුහන් කළ බිම්ගල හොයාගෙන.ඒකත් ෆොටෝ අරගෙන පඩිපෙළ නැඟල එළියට ගියේ ඒ වෙනකොටත් අපිව පිළිගන්න බලාගෙන වාහන නැවතුම්පොළේ හිටපු අපේ රියදුරු සගයා “ශේවියර්“ව හොයාගෙන. හඳුනාගැනීම් වලින් පසුව අපි නුවරඑළිය බලා පිටත් වුණේ ඒ වෙනකොට නිදාගෙන හිටපු නානුඔය නගරයට හොරෙන්. නානුඔය දුම්රිය පොළ ඉදිරිපිට ලංගම බස්රථ දෙකක් ඒ වෙනකොටත් පිරිල තිබුණෙ දුම්රියෙන් ආව සෙනඟින්. ඒත් ඒ බස්රථ පිටත් වෙන්නේ උදේ 6ට පමණ බවයි අපිට දැනගන්න ලැබුණෙ. 

කඳු බෑවුම් කපා හෙලමින් පළල් කරන නුවරඑළිය පාරදිගේ කැළතුණු මඩ තවරගත්ත ඩොල්පින් වෑන්රථයේ රෝද වලට වංගු ගනිමින් හෙමි හෙමින් නුවරඑළියට එන්න පැයකට ආසන්න කාලයක ගතවුණා. නුවරඑළියෙ බස් නැවතුම්පොළේ මගේ දෙවැනි නමින් තියෙන සිංහල තේ කඩේට පාන්දරම ගොඩවණු අපි පදමට කහට දාපු කිරි තේ එක එහෙම බීල (දමින්ද මල්ලි නම් ගමනෙ හැම තේ වෙලාවකම බිව්වෙ කළු කෝපි) ඊළඟට පිටත් වුණේ අපේ නවාතැනට. නුවරඑළිය නගරාසන්නයේම තියෙන කර්නල් රාහුල මහත්මයාට අයිති “සනාරා“ හෝටලය අපේ චනුකගේ සම්බන්ධකම් හරහා ටිකක් අඩු ගාණට ලැබුණෙ අපේ සමූහයේ පිවිතුරු අරමුණත් වර්ණනාත්මකව අගය කරන ගමන්. අපේ චතුර කැප්පෙටිපොළ කිට්ටුව නොමිලේම නවාතැනක් සූදානම් කළත් අපේ ගමන් සැලැස්ම හා අරමුණට බාධා වෙන නිසා ඒක ක්‍රියාත්මක වුණේ නෑ. සිරීපාදේ නඟිනවා වගේ යකඩ අත්වැලක් අල්ලගෙන උදේම පොඩි ව්‍යායාමයක් කරල පඩි 60-70ක් නැඟල අපේ කාමරේට ගිහින් මමත් යසිතුත් හැර අනෙක් කට්ටියම නිදාගත්තේ පැයෙන් නැඟිටින පොරොන්දුව පිට. 

මමත් යසිතුත් පුද්ගලික කටයුතු කරගෙන අහවර වෙලා අනෙක් අයවත් අමාරුවෙන් ඇහැරවල වදෙන් පොරෙන් ලෑස්ති කරවල චතුරගෙ පානුත්, අසුරංගගෙ සීනි සම්බෝලත් කාල එළියට බහින කොට උදේ 7.30ට විතර ඇති. එතැනින් පස්සේ අපි කෙළින්ම ගියේ රාගළට. 

නුවරඑළිය පහුකරගෙන හාවාඔළිය ගල්පාළම කඳපොළ බෘක්සයිඩ් හරහා රාගළට යද්දි උදේ 8.30ට විතර ඇති. මම ගූගල් සිතියම පෙරළ පෙරළ ශේවියර්ට කතා කරමින් මං සළකුණු අසා දැනගත්තේ අපේ ප්‍රධාන අරමුණ පහසු කරගන්න. ඒ කියන්නෙ “අහිමි සිල්පර සොයාරාගල සිට නානුඔයට - පැරණි උඩුපුස්සැල්ලාව පටු දුමරිය මාර්ගය“ සොයාගන්න. බෘක්සයිඩ් පහුකරද්දි තියෙන හල්ග්‍රන්ඔය පාළම ළඟ බැහැල ටිකක් විපරම් කරල බැලුවෙ පැරණි දුම්රිය පාළමේ සළකුණු එහෙම හොයාගන්න.  දවසේ මුල්ම උත්සාහය සාර්ථක කරමින් එතැන අපිට අවශ්‍ය සලකුණු ලැබණා. ඒ ගැන සම්පූර්ණ විස්තර ඉදිරියෙදි කියන්නම්. රාගළට ගිය අපි ඊළඟට ප්‍රෙද්ශයේ වැදගත් පුද්ගලයින් කිහිප දෙනෙකු මුණගැහුණා. උඩුපුස්සැල්ලාව දුම්රිය පොළේ 1972-1982 කාලයේ නියෝජිත දුම්රිය ස්ථානාධිපති ධූරය දරපු ප්‍රනාන්දු මහතා, රාලහාමි සීයා තවත් බොහෝ දෙනෙක් ඒ අතරෙ ඉන්නවා. ඒ හැමෝම අපේ අරමුණ සාර්ථක කරගන්න උපරිමව උදව් කළේ දන්න කියන දේ සියල්ලම අපිට හෙළි කරමින්. රාගළ ඉඳන් ආපහු එන කොට අපිට මඟදි හමුවුණු ප්‍රෙද්ශවාසීන් සියළුදෙනාම සිංහල අය වගේම දමිළ අයත් කැඩිච්ච සිංහලෙන් පවා විස්තර කියමින් අපිටත් වඩා කඩිසරව කඳු නඟිමින් කැලෑ පීරමින් අපේ වැඩේට උදව් කළා. සවස්වරුවෙ පීඩ්‍රො වත්තේ කෝවිලේ කුරුක්කල් සාමිවරයා තමන්ගේ පූජා කටයුතු පවා නවත්වලා අපිට මඟපෙන්වන්න ඉදිරිපත්වුණා. කඳපොල ත් බෘක්සයිඩ් අතර කොටසකදි එක්තරා දමිළ කඩහිමියෙක් තමන්ගෙ කඩේ වෙළඳාම පවා නවත්වලා පැරණි වතුවේදිකාවක් පෙන්වන්න යන්න ආවා. කොහොමින් කොහොම හරි වාහනේ යනවට වඩා දුරක් පයින් ගමන් කරමින් අපි දවල් දෙක විතර වෙද්ද කඳපොළට ආවා. කඳපොළට එනකොට මුළු ප්‍රෙද්ශයම මීදුමෙන් වැහිල. පට්ට හීතලයි. කඳපොළ කියන්නේ තවත් එක් “පුංචි යාපනය“ක් බවයි අපේ මාතලී අපිට කිව්වේ. එදා තෛපොංගල් දවසෙත් නිවනක් නැතිව එළවළු කොරටුවල මඩේ බහිමින් ලීක්ස් ගලවන, කැරට් ගලවන දෙමළ කම්කරුවො නම් නිහඬව කියාපෑවෙ නම් ඇති නැති පරතරය හැර වෙනත් කිසිම භේදයක් මේ මිහිපිට නැති බවයි. කඳපොළ හමුදා කඳවුරට කෑම  ටෙන්ඩරේ කරන රාජුගෙ කඩෙන් දවල්ට උණු උණු තෙල් දැමූ බත් කාපු අපි වැහි අඳුර අරන් එළියට බැස්සේ හාවා එළිය දක්වා ඉතිරි කොටස සම්පූර්ණ කරන්න හිතාගෙන. කඳපොළ හරියෙ වෙලක් මැදින් වැටුණු පැරණි දුරකථන කණු පේලියක් පැරණි දුම්රිය මාර්ගය කියල හිතාගෙන වැරදි පාරක ගිය අපිව ආපහු කැඳගෙන ඇවිත් හරි පාර හැතැප්මක් විතර දුර නිවැරදිව පෙන්වලා දීපු වයසක සීයා කෙනෙක් වගේම 1941දී වුණූ හාවාඑළිය දුම්රිය අනතුර දෑසින් දැකපු ජීවමාන සාක්ෂයත් අපිට මුණ ගැහුණෙ කඳපොළ ගලපාලම හරියෙදි. තවත් හැතැප්ම කීපයක් හාවාඑළිය පැත්තට එද්දි වැහි අඳුර පහවෙලා ගිහින් හොඳට ඉර එළිය වැටුණා. මෙන්න මේ හරියෙදි පැරණි දුම්රිය හරස් මාර්ගයක් තිබුණු තැනකුත් අපිට දකින්න ලැබුණා. එතැනින් පස්සෙ අපි ගියේ එදා දවසේ අපේ අවසාන නිරීක්ෂන ස්ථානය වන හාවාඑළිය අනතුර සිදුවුණු තැනට. එතැනත් බලල දොස්තර පීල්ල කියන පැරණි ස්ථානයේ නටඹුන් එහෙමත් බලල නුවරඑළිය බස් ඩිපෝව ඉදිරිපිට පදිංචි පැරණි දුම්රිය ස්ථානාධිපති තුමෙක්ව අපේ මාතලීගේ මාර්ගයෙන් අඳුරගෙන එතුමත් එක්කත් කථා බහ කරලා අපි අපේ චාරිකාවේ පළමු වැනි දවස අවසන් කළා. ඊට පස්සේ නුවරඑළියෙ ටවුමෙ හීනි මල්තුහීන මැදින් උණු උණු කෙටිකෑම වේලකත්, තොල් පිච්චෙන තේ එකකත් රස බලල ආපහු නවාතැනට ආවෙ රෑ හතට විතර. චනුක හා දර්ශන තමන්ගේ හිතවතෙක්ව හොයාගෙන ටිකක් එළියට ගිහින් ආවෙ අදාළ පුද්ගලයාව මඟහැරැණයි කියාගෙන. කොහොම හරි නානකාමරේ කුස්සියක තරම් දුම් දමන තත්වයට උණුසුම් වෙලා තියෙද්දි නාල කරල රාහුල මහත්මයාගේ හෝටලෙන්ම රෑට නූඩ්ල්ස්  එහෙමත් කාලා කට්ටිය ඉක්මනින්ම නින්දට ගියේ පහුවදා වැඩකොටස ගැන පූර්ණ සාකච්ඡාවකින් පස්සේ. නූඩ්ල්ස් වලට අතුරු පස විදියට අපේ අසුරංග මල්ලිගෙන් ලැබුණු කැරට් අලයත් අමතක කරන්න බෑ. ඒක ලැබුණෙ කොහෙන්ද කියල දන්නෙ එයා එක්ක රේල් පාරවල් වල සළකුණු තියෙන පස් කණ්ඩි හොයාගෙන එළවළු කොරටු මැදින් පීඩ්‍රො වත්තට පයින් ගිය ගමනෙ අපි ටිකම තමයි.

                                         කවුරු කොහොම කිව්වත් තරුණ පහේ ගැටිස්සියකගෙ සිතුවිලි වගේ එකලාසයක් නැති නුවරඑළියෙ කාලගුණයත් පහුවදා උදේ වෙද්දි වැස්සකින් පිරිල තිබුණා. ඒ නිසා 6ට අනිවාර්යයෙන්ම නැගිටින්න හිටපු අපි තව වැඩිපුර විනාඩි 45ක් නිදාගත්තා. උදේ 7ට එළියට බහින්න හිටපු අපි පැයක ප්‍රමාදයෙන් උදේ 8ට එළියට බැස්සේ තද වැස්සේ. එදා දවසෙ අපේ සඳරුවන් සහෝදරයත් තවත් පිරිසක් නුවරඑළි ඇවිල්ලා තිබුණ කියන ආරංචිය අපිට ලැබුණත් අවදිවෙන්න වුණු ප්‍රමාදය නිසා අපිට ඔවුන් මුණ ගැහුණෙ නෑ. උදේම නුවරඑළි ඩිපෝවට ගිහින් එතැන අවශ්‍ය ඡායාරූප ටික අරගෙන රේස් කෝස් පාරෙන් කැලේගාලට ඇවිත් බිංගේ එහෙමත් බලාගෙන ඊළඟට අපි ගියේ අශ්ව ලාඩම වංගුව හොයාගෙන. මහ වැස්සේ වුණත් මමත් චනුකත් දමින්දත් කූඩැල්ලො කඩ කඩා තේවතු අස්සෙන් ගියේ නිවැරදිම විදියට වංගුව විහිදුණු විදිය තහවුරු කරගන්න හිතාගෙන. ඊළඟට දැනටත් බඩු ගබඩාවක් විදියට භාවිතා කරන බ්ලැක්පූල් ස්ටේෂමත් , තවත් නොබෝ දිනකින් මහ පාරට බිලිවීමට බලා සිටින අනෙක් දුම්රිය බිංගෙයත් බලාගෙන අපි ආවෙ බ්ලැක්පූල් පාලම ගාවට. එතැන ඉඳන් එළියට බහින්න බැරි වැස්සේ වාහනේ ඉඳන්ම ඡායාරූප ගනිමින් පැයට හැතැප්ම පහක හයක වේගයෙන් නානුඔයට යනකම් ගියේ අපේ අරමුණ වුණු දුම්රිය මාර්ගයේ විහිදීම නිවැරදිවම අඳුන ගන්න. ප්‍රෙද්ශයයෙම කෙනෙකු වීමත්, ප්‍රෙද්ශවාසීන්ව හැඳිනීමත්, දමිළ වීමත් යන කාරණා ත්‍රිත්වයම නිසා රියැදුරු ශේවියර්ගෙන් උපරිම පිටුවහලක් අපේ ගමනට ලැබුණා. කොහොම හරි නානුඔයට එද්දි වැස්සනම් පායලා. මීහිදුම එහෙමමයි. අපි එනකොටම වගේ නියමිත වේලාවට වඩා පැය භාගයක ප්‍රමාදයෙන් පොඩිමැණිකේ කොළඹ ගියේ උඹල 1008ම වරෙල්ලා කියල නොකියා කියමින්. දුම්රියට නියමිත වේලාවට පැයක් විතර තිබෙන නිසා අපි නියමිත ගණු දෙණු පියවලා ශේවියර්ගෙන් සමු අරගෙන නානුඹය ස්ටේෂම ඇතුළට ගියේ තවත් හොඳ මතක සැමරුම් ටිකක් ගන්න බලාගෙන. ටිකට් එහෙම අරගෙන ඇතුළට යද්දි දුම්රිය නියමිත වේලාවට වඩා පැයක් ප්‍රමාද බව යකඩ කටින් කිව්වෙ අපිට ඈන්ගල් එහෙම බලල, ලස්සනට ෆොටෝ ගන්න වෙලාව තියෙනව කියල පැහැදිලිකරල දෙන්න. අපිත් අනේ මොකද කියල ලස්සනට ෆොටෝ ටිකක් අරගෙන දමින්දයලගේ ගමේ කඩෙන් අමුතු ටයිප් එකේ බතකුත් කාල(අපරාදෙ මගෙ කෑම එකට බිල ගෙව්වෙ - මම ඒක ගම්පොළින් තියල ආව නෙ රේල් පාරෙ) ආයෙම දුම්රිය පොළට එද්දි 1008ත් ගාණට ස්ටේෂමට ආවා. ලංකාවෙ ඇති නැති පරතරය, සමාජවාදය, බහුජාතිකවාදය වගේ දේශපාලනික කතාන්දර ගොඩක් මතක් කරල දෙන මේ දුම්රිය ගැන වැඩිය කතා කරන්න කැමති නැතත් , ඒකෙම නැඟල හීතල යන්න දහදිය නැගෙනකම් තිටි කිටියෙ තදවෙලා කොළඹට ඇවිත් අපි අපේ ගමන 5 වැඩසටහන සාර්ථකව අවසන් කළා. මේ අපේ ගමනෙ අතුරු කතාව මිසෙක සැබෑ ගවේශනය පදනම් කරගතත ලියැවිල්ල නෙවෙයි. ඒක තව ඉස්සරහදි ඕගොල්ලන්ට කියන්නම්.ඒත් මේ අතුරු කතාව කියන්නේ අපේ මීළඟ ගමන ට ජීවය පිඹින අපේ සහෘදයන්ගේ ලෙන්ගතුකමේ කතාව තමා කියලයි මට හිතෙන්නේ. ඒ ලෙන්ගතු කමේ මිහිරියාව අත්විඳින ගමන් අපේ රටේ සාමාජීය, පාරිසරික, සංස්කෘතිකමය වටිනාකම හොයාගෙන යන සහෘදත්වයේ සොඳුරු චාරිකාව වන ගමන වැඩසටහන සමඟ සක්‍රීයව දායක වන ලෙස අපේ ගමන සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි. ඒවගේම අපේ ගමනට සහයෝගය දුන් සියළු දෙනාට ස්තූති කරන්නත් මෙක අවස්ථාවක් කරගත යුතුයි.






 ඔබත් සංචාරයට, ගවේෂණයට කැමති සහෘදයෙක්නම් එකතුවෙන්න අපිත් සමග - "ගමන - සහෘදත්වයේ සොදුරු සැරිසර" https://www.facebook.com/groups/Gamana/










No comments:

Post a Comment