“ගමන‘ ගැන වදනක් තම

ගමන සංචාරක හා ගවේෂණ කණ්ඩායම යනු සාමාන්‍ය සාම්ප්‍රදායික සංචාරක සංස්කෘතියෙන් බැහැරව විධිමත් අරමුණක් ඔස්සේ සිය සංචාරයන් මෙහෙයවන දේශීය සංචාරක ආයතනයකි.

පාරිසරික, සංස්කෘතිමය, ආගමික පසුබිමක් සහිත මෙරට විවිධ ස්ථාන වල තොරතුරු සොයා යාම අපගේ අරමුණ වන අතර එම සංචාරක හා ගවේෂණ පර්යේෂණ චාරිකාවල වාර්තා සහ සටහන්ද, ඡායාරූප හා වීඩියෝ ද සමාජය සමඟ බෙදාහදා ගැනීමට මෙම බ්ලොග් අඩවිය භාවිතා කරනු ඇත.

මෙම අඩවියේ පළවන දෑ වෙනත් අවකාශයක පළකිරීම තහනම් නොවන නමුදු එම පළකිරීම් අවසානයේ උපුටාගත් සබැඳිය පළකිරීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.


Tuesday, November 18, 2014

ගමන 7 - පුරන් අප්පු පරපුර සොයා ගිය ගමනක සාරාංශය Gamana 7- tour Report

බොහෝ දෙනෙකුට නොවැම්බර් 14 වෙනි සිකුරාදා සාමාන්‍ය සති අන්තයකට පෙර යෙදෙන දිගු සිකුරාදාවක් වෙද්දි ගමන-7 වැඩසටහනට සහභාගී වෙන්න හිතන් හිටපු ගමන සහෘදයින් එකොළොස්දෙනෙකුට නම් සුවිශේෂි කාර්යබහුල සිකුරාදාවක් වුණා. මේ එකොළොස් දෙනාගෙන් Ajith Manjula ගමන වැඩසටහනට මුල්ම පියවර තැබුවේ පොල්ගහවෙලින් උදේ 9ට. ඒ උඩරට මැණීකේ දුම්රියෙන් බදුල්ලට ඡායාරූප එකතුවක්
 ගැනීමේ වුවමනාව මත කළින් යාමට තීරණය කළ නිසා. ඊළඟට හවස දෙක වෙද්දී මහනුවරින් පිටත්වුණේ Ashoka Ekanayake සහෘදයා. මේ දෙන්නම එදා රෑ හතට බදුල්ලට ළඟාවෙලා - මුතියංගණය විහාරස්ථානයේ නැවතුණේ පහුවෙනිදා උදේම ගමන කණ්ඩායමට එකතු වෙන්න බලාගෙන. අශෝක ඒකනායක සහාදයාගේ සම්බන්ධතා හරහා මුතියංගණය රාජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ කාරුණික අනුග්‍රහයෙන් උසස්  මට්ටමේ නවාතැන් පහසුකම් මේ දෙදෙනා වෙත ලැබුණේ උන්වහන්සේ ගෙන් ගමන වැඩසටහන සාර්ථක කර ගන්න ආශිර්වාදයත් පිරිනමන ගමන්......


14දා උදේ 8 වෙනකොට පිටකොටුව ලංගම බස් නැවතුම්පොලේ බදුල්ල කොළඹ ලක්සිරි බස්රථ කාර්යාලයේ බස්නායක මහතාගෙන් ඇමතුමක් ලැබෙනවා.....

“ඥානේන්ද්‍ර මහත්මයා.... දවස් පහක් තිස්සේ නැවතිලා තිබුණු ලක්සිරිය අද ඉඳන් වැඩ..... ඔයාළගේ ටිකට් ටික ලියන්නද?“

“ඔව්  හැබැයි මුලින් කිව්ව ගානට වඩා දෙකක් අඩු කරලා දහදෙනෙකුට සීට් බුක් කරන්න. මම 12න් පස්සේ ඇවිත් ටිකට් ටික ගන්නම්“

ඒ අතරින් ගමන පරිපාලක වරුන්ගෙන් එකකට පස්සේ එකක් විදියට විවිධ විමසීම්...... චනුකගෙන් සහභෘගී වන හැමෝටම රැගෙන ආ යුතු දේවල් ගැන සිහි කැඳවීම්....පැනඩෝල් පෙත්තේ ඉඳලා........වැහි කබාය දක්වාම සියල්ල කොළඹට එකතුවෙන සියළු දෙනාට එකතු විය යුතු තැන හා අදාළ විමසීම් සඳහා අළුතෙන් ඇරඹූ සහෘදයින්ගේ චැට් බොක්ස් එකත් කාර්ය බහුලයි. කවදාවත් නොදුටු අළුත්ම ගමන සහාදයින් සයදෙනෙකුට හා  සුපුරුදු ගමන සාමාජිකයින්ට එකිනෙකා හඳුනාගැනීමට තොරතුරු විමසීමට- නුහුරු බව නැති කිරීමට මේ කතාපෙට්ටිය බොහොම වැදගත් කාර්යයක් ඉෂ්ඨ කළා.


14දා සවස් වරුව කොළඹට වගේම අපේ ගමන වැඩසටහනේ නිමිත්ත වුණු කොහොනාවල ගමටත් එක සීරු වැස්ස........ කොහොනාවල විදුහල්පති තුමාගෙන් මහ වැස්සෙම අමතීමක්......

“ඥානේන්ද්‍ර මෙහෙට තද වැහි..... ඔයාලට එන්න පුළුවන් වෙයිද?....... අපි කෑම බීම ලැහැස්ති කරන්නද? එපාද? කාවහරි මඟට එවන්නද?“ ආදි ප්‍රශ්ණ වැලක්.......

“ගඟ ගලන්න වැස්සත් - අපි 15දා උදේ 8ට මඩොල්සිමට ඇවිත් ඔබතුමාලගෙ ගමට එනවමයි........ “මඟෙන් පිළිතුරු..........

මොකද ගස් ගල් වගේ ශක්තිමත් සහෘදයින් රෑනක් ඒ වන විටත් අපේ වැඩසටහනට අනිවාර්යයෙන් එකතු වෙනවා කියල සපථ කරලා තිබුණු නිසා සංවිධායකවරු විදියට ගමන සමූහයේ පරිපාලක වරු හිටියේ ශක්තිමත් ස්ථාවරයක...... ඇත්තටම අපේ වැඩසටහනට පස්දෙනෙක් හිටියත් අපි අපේ වැඩසටහන කරනවා..... අපිට අවශ්‍ය පුද්ගල ප්‍රමාණය වැඩි වෙනවට වඩා යොදාගත්ත වැඩසටහන සාර්ථක කරගන්න දායක වෙන්න පුළුවන් හැකියාවක් උනන්දුවක් තියෙන පිරිසක් සමඟ ගමන වැඩසටහන සාර්ථක කරගන්න විතරයි......
කොහොනාවල පාසැලේ දහසය දෙනෙක් වෙච්චි පුංචි පැටවුන්ට අපේ හැකියාවට අනුව පුංචි පොත් පාර්සලයකට අවශ්‍ය දේවල් මිළදී ගෙන, ඇසුරුම් කරලා, බස් ටිකට් සඳහා මුදල් ගෙවල ගමන වැඩසටහනේ පොත් පත් මුද්‍රණය හා අනෙකුත් වැඩ කටයුතු සැලසුම් කරලා මම කොළඹ කොටුවෙන් ගෙදරට එනකොට සවස 6යි. දොඹ ගෙඩි වගේ වැටෙන සංවහන වැස්ස එක්ක ආව තද දිගු අකුණු පාරවල් විදුලි සැපයුම විසන්දි කරලා......

කැමරා චාජ් කරන්න, ඇඳුම් මදින්න තියා ගමන වැඩසටහනේ අත්‍යාවශ්‍යම ලිපි දෙකකුත් මුද්‍රණය කරන්න අවස්ථාව අහිමි කරලා......

කොහොමින් කොහොම හරි රෑ 7 වෙද්දි විදුලිය සම්බන්ධතාවය යළි සැකසුණු නිසා ලහි ලහියේ වැඩ ඉවර කරගන්න කොට හවස 7.50 වෙද්දී අපේ සහෘදයින්ගෙන් පළමු පැමිණිම සටහන් වුණා. ඒ Gihan Malinda. වෙනදට නම් සළකුණු පොතේ කළින්ම නම ළකුණු කරන අපේ නිළ ඡායාරූප ශිල්පියා වුණු Daminda මෙදා පාර ගමන මඟ ඇරියේ සතියකට කළිනුත් බදුල්ලේම සවාරියක් යන්න වුණු නිසා.......කම්මැලි කමට වෙන්න ඇති. ඊළඟට අසුරංග මෙන්ඩිස්, කසුන් දර්ශණගේ ඉඳලා සියළු දෙනා රෑ 9.30 වෙනකොට  කලින් කතා කරගත්තු පරිදිම කොටුව දුම්රිය පොළට ඇවිත් තිබුණා.....

ගමන වැඩසටහනේ කොළඹින් පිටත්වීම රෑ 11.30ට තියෙද්දී හැමදෙනාම 9.30 වෙද්දි ආවෙ තවත් විශේෂ රාජකාරියකට....... දවසක් ඇර දවසක් යාපනයට යන්න සූදානම් වෙන අළුත්ම දුම්රියේ මංගල ගමන යෙදිල තිබුණු නිසා ඒකේ ඡායාරූප ගැනීම තමයි ඒ සුවිශේෂ හේතුව......කට්ටිය කොහොම හරි ඒ වැඩෙත් සාර්ථකව කරගෙන රෑ කෑමත් කාලා පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පළට එද්දි අපේ ගමනට සහය වෙන වායුසමනය කළ කොළඹ- බදුල්ල සුපිරි සේවා බස් රථය නැවතුමට ඇවිත්....ඒ වෙද්දි කොළඹට ආව චනුක අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරලා අදාළ ආසන ටික අපේ සහෘදයින්ට ලබාදීලා අවශ්‍ය කටයුතු ටික කළා.........

මම පිටකොටුවට එද්දි රෑ 11ත් වෙලා.....දඩි බිඩියේ බත් දෙකටක් කාලා....... වතුර බෝතලේකුත් අරගෙන බස් එකට ගොඩ වෙලා බලද්දි යන්න වෙලාව හරි..... චෝගම් එකට ගෙනාව අළුත්ම බස් එකක...... අජෙස්ටබල් සීට්.... වායුසමන පහසුකම් එක්ක හොඳ නින්දක් දාගෙන යන්න තිබුණත් රත්නපුරෙන් එකතු වෙනව කිව්ව Prabash Malitha නිසා අවිස්සාවේල්ලට යනකම් ම නිදාගන්න වුණේ නෑ..... හවස චැට් බොක්ස් එකෙත් හරි මං ෂුවර් කිව්ව Prabash Malitha ට විනාඩියෙන් විනාඩිය ගන්න ඇමතුමට ප්‍රතිචාරයක් නැති තැන ඒක නොකෙරෙන බෙහෙතක් බව අවබෝධ කරගෙන නින්දට ගියත් නිදි දැහැන බින්දෙ කොන්දොස්තර මහත්තයා.... රත්නපුරේදි......

කෝ ඔයාලගෙ කෙනෙක් රත්නපුරෙන් නඟිනවා කිව්වා නේද.......... දැන් ඉන්නෙ ගුඩ්ෂෙඩ්........... ඇවිත් නැද්ද?

ඌට කියන්නෙයි.. අපේ එකා පොල්ල තිබ්බා කියලා......

නැ මචං ඌ කෙළින්ම බදුල්ලට සෙට් වෙන්නේ....... අපි යං...... - මම කිව්වා.....



පැල්මඩුල්ලට  කිට්ටු කරලා කට්ටියම එක්ක පොතාන රෑ කඩෙන් බනිස් එහෙම කාලා තේ එකකුත් බීලා ආයෙම නිදා ගත්තා..... ඇහැරෙන කොට බණ්ඩාරවෙල...... ඒ ඇහැරුනේ බදුල්ලේ ඉඳන් මඩොල්සිමට යන්න කතා කරපු වෑන් එකේ කුමාර අයියගේ ඇමතුමෙන්.....

මහත්තයා මම කුමාර..... හරියටම 4.30 වෙද්දි මම බස් ස්ටෑන්ඩ් එකට එනවා. ඔයාල කොහෙද..........

අපි දැන් බණ්ඩාරවෙල පහුකළා.....

ආයෙත් නිදි. ඇහැරුණේ බදුල්ලෙදි....... වෙලාව උදේ 4.45යි. බස් එකෙන් බැහැල බඩු බෑග් එහෙමත් අරගෙන අපි කට්ටිය ගියේ මුතියංගනේ පන්සල ගාවට...... ඒ අපේ අජිත් මංජුල හා අශෝක ඒකනායක කියන සහෘදයින්  දෙදෙනාව එක්කාසු කරගන්න...... ඒ දෙන්න වාහනේ ගාවට එද්දි 5.10යි. කට්ටියගේ අඩ නින්ද මකන බදුලු හීතලත් එක්ක එකිනෙකාගේ පැරණි මතක අළුත් කරමින්  බදුල්ලේ ඉඳන් කිලෝමීටර 7-8ක් යද්දි තමා මතක් වුණේ කොහොනාවල පාසල් ලමයින්ට ගත්තු පොත් පාර්සලේ බස් එකේ අමතක කරල ආවා නේද කියලා......

අයෙමත් හරවගෙන බදුල්ලට ගිහින් බස් එකෙන් පොත් ටිකත් අරගෙන  කෙළින්ම ගියේ පස්සරට....... පස්සරදී අපේ ගමන 6 ට සහභාගි වූ ඕදිත සහාදයා අපේ පිරිසට අත්‍යාවශ්‍ය පෙරවරු කටයුතු ටික සදහා පස්සර
“ධවල මන්දිර“ හෝටලයේ පහසුකම් සලසා තිබුණා.... ඊට අමතරව රසම රස කිරි තේ එකකිනුත් සියළු දෙනාටම සංග්‍රහ කරන්නටත් නොමසුරු වුණා..... එදා දවසෙදි ඕදිතගේ හිතවතෙකුට අයත් අදාළ නවාතැන්පොළේ පිරිත් පිංකමක් තිබෙන නිසා ඕදිතගේ සහභාගීත්වය අපිට අහිමි වන බව ඔහු ස‍ඳහන් කළේ අපගේ පෙර ගමන් සැළසුම ක්‍රියාත්මක වෙද්දී.......ඕදිතගේ සත්කාර හා සංග්‍රහ බුක්ති විඳපු අපි අඩ හෝරාවක පමාවකින් පස්සර ඉඳල මඩොල්සිමට යන්න පිටත් වුණේ .... ළාහිරු කිරණ තේදළු ඉහළට එසැවුණු වතු සමාගම් වල කඳු මුදුන් වලින් ආගන්තුක අපිත් එක්ක මදහස පාද්දි....... කළින් දවසේ හවස වැහැපු වැස්සට තෙත්වුණු පොලොවෙන් විහිදෙන නැවුම් සුවඳත් නමුණු කුළ කන්දෙන් එන සුළඟත් එකට මුහු වෙලා ඇවිත් අපේ නාස් පුඩු හරහා පෙනහැල්ලට ගියේ අමුතු ප්‍රබෝධයක් ගතටත් සිතටත් ලබා දෙමින්........

පස්සරින් පසු පළමු කිලෝමීටර කිහිපය තුළ දකුණු පස කන්දෙන් මතුවන හැම දියපාරක්ම දෙකඳු මැදින් ගලන ලොග්ගල් ඔය පොහොනි කරන බව අපට කිව්වේ වෑන් රථයේ රියදුරු - කුමාර...... ඒදුර  පරාසය තුළ වංගුවෙන්  වංගුව මාරුවෙද්දි මඩොල්සිම ලුණුගල කඳු පන්තියටත් - බදුල්ල නමුනුකුල කඳු පන්තියටත් මැදිව ලොග්ගල් ඔය නිම්නය අපූරුවට පේනවා..... කොහොම හරි පස්සරින් පිටත්වෙලා...... පැය භාගයකින් විතර අපි මඩොල්සිම ට ළඟාවුණා...... තේවතු වලින් වටවුණු පුංචි සුන්දර කඩමණ්ඩියක් වන මඩොල්සිම දකුණෙන් සිංහලේ වෙළඳාමට ආව සිංහලයින්ගෙනුත්, දකුණු ඉන්දියාවෙන් වතු වැඩට ආව දෙමළුන්ගේත් - රටේ අන්තැනක මා නොදුටු වතු කම්කරු මුස්ලිම්වරුන්ගේත් මුහුණු  වලින් තව තවත් සුන්දර වෙලා තිබුනා. කඩමණ්ඩියේ බුදු මැදුරත්, තැපැල් කාර්යාලයත්, පොලීසියත් පිහිටා තිබුණා.

උදේ 7.45ට  අපි මුලින්ම කළේ මඩොල්සිම “ප්‍රදීප් තේ කඩෙන්“ ඉඳිආප්ප, රොටී හා ආප්ප කාලා තේ බීව එක. පැනඩෝල් පෙත්තේ ඉඳලා, මඳුරුදඟරය දක්වා අවශ්‍ය දේ මිළඳීගෙන ඊළඟට අපි හන්දියේ තිබුණු තුන්සකරිය තුනකින් මඩොල්සිම වත්තේ තේ කම්හල ළඟට ගියේ කොහොනාවලට යන දිගු පා ගමනට මුල පුරන්න. රුපියල් සියයකට කිලෝමීටර් දෙකක දුරක් යන මේ ගමනෙදි මඩොල්සිම හින්දු කොවිලත් වතු නිවාස වලට යන පාරත් පහුවුණාම හමුවන්නේ මඩොල්සිම තේ කම්හල. එය පාමුලින් තමා කොහොනාවල පෙත් මඟ ඇරඹෙන්නේ.....

එතැනින් බැහැපු අපි සීතල තවරපු තේ ගස් මැද්දෙන් පටු අඩි පාරක් දිගේ ඉස්සරහට ගියා. අපි යන කන්දෙ පාමුලෙන් පුංචි දොළ පාරක් ගලාගෙන ගියා.කවුරුත් නොහිතුවට ඒ දිය පාර තවත් මීටර පන්සියයකින් මහා දිය ඇල්ලක් මවන බව අපි දැගෙන හිටියෙ නෑ. ටික දුරක යද්දි අඩි ාරක ගිය අපි සාමාන්‍ය වෑන්රථයක් යන පාරකට ආවා. ඒ එක්කම ඇළ හරහා එගොඩ වෙන්න පුංචි කොන්ක්‍රීට් ලෑල්ලකුත් දාලා තිබුණා. ඊට ඉහළින් වතු  කම්කරුවන් පිරිසක් තේ ගස් කප්පාදු කරනවා. අපි ඔවුන් සමඟ කැඩිච්ච සිංහලෙන් අදහස් හුවමාරු කරගත්තේ  මේ දොළ පහර ගැන දැනගන්න. වතු ලැයිම හරහා මේ ස්ථානයටම වාහනයකින් එන්න පුළුවන්.....

ඒ වගේම ඒ ලැයිම හරහා ගිහින් අපි මේ ඉන්න තැනට ඔබ්බෙන් පහළට වැටෙන අපිට නොපෙනෙන ඒ සොඳුරු දිය ඇල්ල දකින්නත් පුළුවන්. අපේ ගමන වැඩසටහනේ දිය ඇල්ල බලන්න ඉඩක් වෙනිවී නොතිබුණු නිසා අපි ඒක ඒ අදහස අමතක කරලා දැම්මා........

දිය සීරාවෙන් පිරුණු තේ ගස් මැද්දෙන් වැටුණු ඉදිරි ගමන් මඟ යාමට පෙර කූඩැල්ලන්ට බියක් දක්වන සහෘදයින්ට කකුල් වල සිද්ධාලේප ගාගන්නත්,  කොළඹ ඉඳන් මඩොල්සිමට එක සීරුවට ආව වෙලාවේ හරියට හඳුනාගන්න බැරිවුණු එකිනෙකා හඳුනා ගන්නත්, ගමනේ වැඩසටහන, අරමුණ පැහැදිලි කරන්නත්, මෙම ගමනේ ඇති අවධානම පැහැදිලි කරන්නත්, ගමන ට එක්වුණු  සහෘදයින් එකිනෙකා වෙනුවෙන්
පිළිපැදිය යුතු ආචාර ධර්ම පැහැදිලි කරන්නත් මේ ස්ථානයේ අපි පැය භාගයක විතර කාලයක් ගත කළා........

එතැන් ඉඳන් චානුකත් මමත් කණ්ඩායමේ ඉදිරියෙනුත් අසුරංග හා දර්ශණ කණ්ඩායමේ පසුපසිනුත් විදියට අපේ සහෘදයින් මැදි කරගෙන කොහොනාවලට ගමන පටන් ගත්තා. ආරම්භ කරපු තැන ඉඳන් අපේ කට්ටියගෙ කැමරා වලට ඉස්පාසුවක් නෑ... මොහොතින් මොහොත දකින දසුන ඇස් අදහගන්නත් බැරි තරම සුන්දරයි..... හරියට සිත්තරෙක් අඳින සොඳුරු සිත්තමක් වගේ...... ඉෂාන්, භාග්‍ය,චමත්,කිරුළු සහෘදයින්ගේ කැමරා එහෙට මෙහෙට වෙමින් කොහොනාවල ලස්සන කැමරා මතක වල ස්ථාපිත කර ගන්නවා. දුරකතන සංඥා සීමිතයි. අනෙක් දිනවල විනාඩියෙන් විනාඩියට එන ඇමතුම් කෙටි පණිවිඩ වලින් මිදිච්ච ෆේස්බුක් පිටුවේ ඉහළ පහළ යන්නට වරම් අහිමිබැඳීම් වලින් තොර නිදහස් මිනිස්සු විදිහට  කුරුල්ලන් වගේ සැහැල්ලුවෙන් ඒත් අඩි දහසකට වැඩි ප්‍රපාතාකාර මාර්ගයක අපේ නඩේ හෙමි හෙමින් කොහොනාවලට පල්ලම් බැස්සා....... වෙනදට වළාකුළු වලට පහළින් ගිය අපි එදා සමහර මොහොතක වළාකුළු වලට උඩින් පයින් ගියා....... පැය එක හමාරක- දෙකක  සුන්දර ගමනකින් පස්සේ අපි ගමනේ මධ්‍ය ස්ථානය විදියට හිතන අම්බලම ගාවට ආවා.

1950 දශකයේ විතර මඩොල්සිමට යන පාර ගල් පතුරු තියල සංවිධානාත්මකව  නිමා කරන්න පුළුවන් තරම් උසස් සංස්කෘතියක් කොහොනාවල ගමට තිබිලා තියෙනවා. මොකද අපි ගිය පෙත්මඟ ස්වභාවික එකක්ම
නොවුනු ගල්පඩි හා ගල් පතුරු අසුරා සකසා තිබීමෙන් ගමේ සංවිධානාත්මක බව ගමේ ඉඳන් මඩොල්සිමට ගිහින් ආපහු එන ගම් වැසියෙකුගෙන්ම තහවුරු කරගන්න අශෝක ඒකනායක කියන පේරාදෙණිය විශ්ව
විද්‍යාලයට සම්බන්ධ අපේ සහෘදයාට හැකියාව ලැබුණා. ඇත්තටම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අපේ ගවේශන කාර්යය විධිමත් හා පරිපූර්ණ කරගන්න ඔහුගෙන් ලැබුණේ වචනයෙන් කියන්න බැරි තරම්
සහයෝගයක්......ඒ වගේම 1970දී  රජයේ පාසැලක්ලැබෙන්න තරම් කොහොනාවල ගම්වැසියන් ප්‍රබල දේශපාලන වැදගත්කමක් සහිත පිරිසක් ලෙස ජීවත් වෙලා තිබුණා. ඒත් 1977 ව්‍යවස්ථාවත් එක්ක ආව
දිස්ත්‍රික් පදනම මත ජනතා නියෝජිතයින් පත් කිරීම කිසා ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය නොවැදගත්වීම පදනම් කරගෙන  එතැන් සිට ඔවුන් අපේක්ෂා කළ භෞතික සංවර්ධනය ගමට ලැබුණේ නෑ.

අම්බලමේ ටිකක් වෙලා නැවතුනු අපි බිස්කට් එකක් ග්ලූකෝස් ටිකක් කාලා වතුර එහෙමත් බීලා, සමහරුන්ගේ කකුල් වල එල්ලිලා හිටපු කූඩැල්ලෝ ගලවලා එහෙම ආපහු ගමන ආරම්භ කළා. එතැනින් පස්සේ ගල්පඩි
වෙනුවට තිබුණේ අඩි පාර. මඩොල්සිම ඉඳල කොහොනාවලට එද්දි කන්දෙන් කන්දට මාරුවෙවී කඳු හතක් විතර බහින්න තියෙනවා. කෙහොමින් කොහොම හරි දහවල් 12 වෙද්දී අපි කොහොනාවල ප්‍රාථමික විද්‍යාලයට
 ළඟා වුණා. විදුහල්පති තුමා සහ සිසු දරුවන්ඒ සෙනසුරාදා දවසෙත් පාසැලේ...... වාර්ෂික විවිධ ප්‍රසංගයට සූදානම් වෙනවා..... අපි විද්‍යාලයට ගියහම ලස්සන ඉදිරිපත් කිරීම් දෙකක් අපි වෙනුවෙන් කරන්නත් ඒ ළමා පිරිස
ඉදිරිපත් වුණා.ඇත්තටම ළමයි 16ක් ඉන්න විද්‍යාලයක ගුරුවරු දෙන්නෙක් කරන ඒ කැපවීම කෙතරම් වටින දෙයක්ද කියලා දැනුනේ ඒ ඉදිරිපත් කිරීම් වල තිබුණු විශිෂ්ඨත්වය නිසාමයි. ඊට පස්සේ විදුහලෙන් අපිට කහට
සහ කිතුල් හකුරු සංග්‍රහයකුත් ලැබුණා. කසුන් දර්ශණ වගේ සමහරු නම් කිතුල් හකුරු දීසිය ගාවටම වෙලා හිටිය කියලයි දන්න කියන අය කිව්වේ......
ඊට පස්සේ විදුහල්පති තුමා එක්ක පැයක විතර සාකච්ඡාවක් පැවැත්වූවේ “කොහොනාවල“ කියන ගමේ ඉතිහාස කතාව පැහැදිලි කර ගැනීමට. ඒ අනුව සොයාගත් විස්තර ඉදිරියේදී අපේ ලිපි ලේඛණ වලින් හෙළී වේවි.
එතැනින් පස්සේ තිබ්බටු ගෙඩි හා මඤ්ඤෙක්කා කොළ ලියල හදපු මැල්ලුමකුත් කොල්ලු මාළුවකුත් එක්ක කැකුළු හාලේ බත් අපේ දවල් කෑම විදියට විදුහලෙන් සූදානම් කරලා තිබුණා. කවදාවත් කාලා නොතිබුණු ඒ
රසම රස කෑමවේලෙන් කුස පුරවාගත් අපි අපේ නවාතැන වුණු ගමේ ප්‍රජාශාලා ගොඩනැඟිල්ලට ගියා. පුංචි කඳුරකින් එගොඩ වෙලා එහෙම යන්න තියෙන ඒ ගොඩනැඟිල්ල කාමර දෙකකින් කුස්සියකින් හා විවෘත
ශාලාවකින් සමන්විතහොඳ මට්ටමේ එකක්. බෑග්වල බර සැහැල්ලු කරගෙන ඇඳුම් එහෙම මාරු කරගත්තු අපි ඊළඟට ගියේ නාගන්න. හීතළ දිය ගලන සුන්දර පුංචි කඳුරෙ ගල් පොත්තක දිගාවෙලා අමුතුම නෑමක් නාන්න
කට්ටියටම අවස්ථාව ලැබුණා.ඒත් ඒ වෙලාවේ තිබුණු වැහි මන්දාරම අපේ කැමරා ආම්පන්න නවාතැනේ තියල එන්න විධාන දීපු නිසා ඒ සුන්දරත්වය ඔයාලට කියන්න වෙන්නේ වචනයෙන් විතරයි.

නෑමෙන් පස්සේ අපේ ගවේශන කර්තව්‍යය ආරම්භ වුණා. අශෝක මහතාත් මමත්, චානුකත් ඒ කාර්යයේ සාමාජිකයින් වෙද්දි අපේ අනික් සාමාජිකයෝ ඡායාරූප දඩයමේ ගියා.ගමේ හැම පවුලක්ම නියෝජනය වන විදියට
එකසාමාජිකයෙක් ගානෙ අපේ කැඳවීමට අනුව හවස 4 වෙද්දි ප්‍රජා ශාලාවට ආවා. විදුහල්පතිතුමාත්, ගමේ ජනසභාවේ සභාපතිතුමාත් ඒ දේවල් පිළිවෙළට ලස්සනට සංවිධානය කරලා තිබ්බා. විදුලිය නැති ඒ ශාලාවේ
කුප්පි ලාම්පු හා ලන්තෑරුම් කිහිපයකුත් අපි වෙනුවෙන් ලැහැස්ති වෙලා තිබ්බා. මාධ්‍ය වල කියන විදියට හවස තුන වෙද්දි කළුවර වෙන කතාව අපේ ඇස් පනාපිටම බොරු වෙමින් පැවතුනා. හවස පහට කිට්ටු වෙන ඒ
වෙලාවේ ද ගමට හිරු එළිය තිබුණා.අපි මේ ගැන ගම්මුන්ගෙන් ඇහුවහම කිව්වේ..... ආව මාධ්‍යවේදීන් කිතුල් පැණෙන් සැනහිලා ගිහින් ලිව්ව ඒවා ගැන අපිට වගකියන්න බෑ කියලයි. ගමේ ඉතිහාසයේ ඉඳන්, ඇඳුම්
පැළඳුම්, කෑම  බීම, ඉවුම් පිහුම්, සිරිත් විරිත්, අභිචාර, ඇදහිලි,කර්මාන්ත හා ජීවනෝපාය, වෙදහෙදකම්, පවුල් ජීවිතය වගේ බොහෝ කේෂ්ත්‍ර වල විහිදුනු අපේ ප්‍රශ්ණ වලට රෑ හත විතර වෙනකම් එක සීරුවට උත්තර දෙන්න
තරම් මේ ගම්වැසියන් නිහතමානී වුණා. ඊලඟට අපේ සම්බන්ධකම් හරහා එයාලගේසමහර අහිංසක වුවමනාවන් ඉෂ්ඨ කරලා දෙන්න කියලත් එයාලා ඉල්ලීම් කළා. ඒවා අපි ඉදිරි දිනවල හෙළි කරන්නම්.
රෑ හත වෙනකොට හොඳටම කළුවරයි. විදුලි එළියක් නැති ගම්මානේ රැහැයි නාදය, ගෙම්බන්ගේ බකබකය වගේම නාඳුනන ශබ්ද බොහොමයක් අපේ කන් බෙර කම්පනය කළා. අපි එකොළොස් දෙනාට කන්න ලොකු රතු
 කැකුළු බත් පළඟනා දෙකකුත් මෑකරල් තෙල් දැමීමක්, මඤ්ඤොක්කා මාළුවක්, ගොටුකොළ සම්බෝලයක්, අළුකෙහෙල් ව්‍යාංජනයකුත් සූදානම් වෙලා තිබුණා. නගරයේ රුපියල් එකසිය තිහේ පුංචි බත් පාර්සල් වලට
හුරු වුණු අපේ බණ්ඩි ගෙඩි වලට ඒ මහා බත් පළඟනා දෙක වේල් තුනකට ඇති. දිව්‍ය රසයක් ඒතුළ තිබුණ කියන එක අපේ ගෙවල් වල කෑම උයන අම්මලාට හෝ අඹුවන්ට කරන අසාධාරණයක් නොවුණත්, ගලේ අඹරපු
මිරිස් ගුලියෙන්, කහ ගුළියෙන්, කොච්චි ටිකෙන් සහ අව්‍යාජ කුළු බඩු වලින් පදම්කරල දර ලිපේ උයන ව්‍යාංජනයක සහසක් රස රහස් තියෙනවා කියල නම් හිතුනා.

ගමේ වැසියන් දෙදෙනෙක් අපේ තනියට අපි නින්දට යනකම්ම ළඟට වෙලා හිටියා. බදුල්ලේ තරම් හීතලක් නැති වුණත් ඇඟට දැනෙන හීතලක් තිබුණ නිසා ජර්සි හා පොරෝන වලට ආරාධනා කරපු අපි කොළඹදි කවදාවත්  නොලැබෙන සැහැල්ලුවකින් ගම්වැසියන් ගෙනා කළාල හා පැදුරු එළාගෙන කොට්ටත් ළං කරගෙන නින්දට ගියේ රෑ 8.30ට විතර....... ටිකක් විතර කතා සාජ්ජයක් දාන්න වුවමනාවක් තිබුණත් කඳු හතක් බැහැල සැතැපුම්  දහයකට ආසන්න දුරක් පයින් ආ තෙහෙට්ටුවත්, පෙර දිනයේ බස්රථයේ ලද අඩ නින්දත් නිසා අපිට හොරෙන් අපිටම නින්ද ගියා......

මට නම් පාන්දර හතර හමාරට විතර ඇහැරුණත් ආපහු නිදාගෙන ඉඳලා උදේ පහමාරට එළියට ගියා...... අපේ ගෙවල් අද්දරට පාන්දර පහමාරට වැටෙන මන්දාලෝකය ඒ වෙනකොටත් කොහොනාවලට වැටිලා තිබුණා.
පොළොස් කොට්ටෝරුවෝ, මීච්චෝ (පොල්කිච්චෝ) කපුටු බාලයෝ දවස පටන් අරන් තිබුණා. ප්‍රජා ශාලාව ඉදිරිපිට පැපොල් ගහට පුරුදු වෙච්ච අළු කෑඳැත්තෙක් එල්ලයටම පියඹා ආවත් නුපුරුදු මට බයවෙලා ආවටත්
වඩා වේගයෙන් ඈතට ගියා. දඬු ලේනන්, ලේනන්, ගස් අතුවලින් එහෙට මෙහෙට මාරු වෙද්දි..... ගම් වැසියෝ තමන්ගේ හේනට, වගාබිමට යන්න පටන් ගත්තා..... උදේ හය වෙද්දි අපේ පිරිවරත් අවදි වෙලා පුද්ගලික
කටයුතු ලහි ලහියේ ඉටුකරගත්තා..... කන්දේ ඉඳන් ප්ලාස්ටික් බට දිගේ එන සීතලම සීතල උල්පත්වතුර වලින් මුහුණ හෝදගෙන අහවර වෙද්දි අපේ උදේ කෑම හැටියට තේ සහ රොටී ගෙනවිත් තිබුණා. සැරම සැරට
ළූණු තෙල් දැමීමක් එක්ක ගෙනාව පොල් නැති රොටී....ටික පංකාදු පහයි. සාමාන්‍ය පිඟානක් විතර පළල ඒ රොටී දෙකකට විතර බෑ නොකියා වගකියන්න අපි කවුරුත් සැදී පැහැදි සිටියා.
අපේ වැඩසටහනේ උදේ 6-10කාලය වෙන්වුණේ ගමේ සංචාරය කිරීමට..... ඒ ආකාර දෙකකින්.... එකක් ගවේශන කාර්යයයේදී පෙරදා ගම්වැසියන්ගෙන් ලබාගත් තොරතුරු සහතික කර ගැනීමට. අනෙක ස්වභාව
අලංකාරය හා පරිසර හා සත්ව ප්‍රජාව නිරීක්ෂණයට....පළවෙනි කණ්ඩායමට මමත්, අශෝකත්, අජිත් හා දර්ශණත් ඇතුළත් වුණා. අපිට මඟ පෙන්වන්න ගම් වැසියෙකුත් ඉදිරිපත් වුණා. දෙවැනි කණ්ඩායමට ඉතිරි අය ඇතුළත් වුණත් ඒ අයත් නැවැත දෙකට බෙදී දිශාවන් දෙකක සුන්දරත්වය සොයා ගියා. චමත් හා කිරුළු මේ අයගෙන් මිදී තනිව පක්ෂී නිරීක්ෂණයට  හා සේයාරූ දඩයමට කඳුරු අයිනට යද්දි චානුක හා පිරිස හෙල්මළු කුඹුරු - ගල්තලාවන් හා වනාන්තරය දෙසට ගියා. ගමේ සාම්ප්‍රදායික ගෙවල් හා ගොවිබිම් ගණනාවක් බලපු අපේ කණ්ඩායම ඊළඟට ගියේ ගම්මානයේ කෙළවරින් ලොග්ගල් ඔයට වැටෙන දියඇල්ල හොයාගෙන.  ගම්මු මෙතනට කියන්නේ “බල්ලාදැමූ වල“ කියලා... මේ නමට හේතුව හොයාගන්න අපිට බැරිවුණා වුණත් දිය ඇල්ල නම් බොහොම සුන්දරයි.

මේ ඔක්කොම බලලා ආපහු ප්‍රජාශාලාව අසළට එද්දී යාබද නිවසින් අපට ලැබුණේ රසම රස වරකා සංග්‍රහයක්. පිරිසේ එකොළොස් දෙනාටම වරකා සංග්‍රහය නොලැබුණේ ඒ අය තැන තැන සිටි නිසා...... ඊළඟට ප්‍රජා ශාලාවට ආව අපි හරියටම උදේ 10.20 වෙනකොට ප්‍රජාශාලාවෙන් පිටවුණා. ඒ වෙද්දි අපේ දහවල් කෑම පාර්සල් ටිකත් අපට ලැබිලා තිබුණා.  අපි වෙනුවෙන් සංග්‍රහ සූදානම් කළ ගම්වැසියන්ට ස්තූති කරලා අපි
ඔවුන්ගෙන් නික්මිලා කොහොනාවලට සමුදීලා පල්ලම් බහින්න පටන්ගත්තා.

ඇත්තටම අපේ වැඩ පිළිවෙල මේ වෙනකොට ඉවරයි. අපේ ගමන වැඩසටහනේ ඉතුරු වෙලා තිබුණේ ලොග්ගල්ලා ඔයේ නෑම කියන කොටස විතරයි. කෙහොමින් කොහොම හරි ලොග්ගල්ලා ඔයට අපි පල්ලම් බහින කොට එතෙක් පැවති යහපත් කාළගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. විනාඩි කිහිපයක් යද්දි අපිව අතරමඟදීම නහවාලමින් මොරසූරන වැස්සක් වැස්සා......කැමරා හා පොත් පත් ටික ආරක්ෂා කරගෙන අපි වැස්සට තෙමෙමින් අපි කඩිනමින් පල්ලම් බැස්සේ පස්සරට වහින පුංචි වැස්සකින් ලොග්ගල් ඔය පිටාර ගලන අනතුරක් තියෙන බව දන්න නිසා. අපි ලොග්ගල් ඔයට යද්දි වතුර බොර වෙලා තිබුණත් වැඩිවෙලා තිබුණෙ නෑ. ..... එකිනෙකාගේ අත්වැල් අල්ලගෙන ඔයෙන් එගොඩ වුණු කට්ටියම එතැන තියෙන වැලි තොටුපොලේ පුංචි මඩුවට ගියේ බෑග් වල තියෙන කැමරා ආදිය වැස්සෙන් රැකගන්න.

මඩ වතුර වුණත් කමක් නෑ..... ලොග්ගල් ඔයෙන් නාන්නම ඕන කිව්ව කට්ටිය  දිය සැනහිලා ඇවිත් කෑම පාර්සල් වලට වගකියන්න පටන් ගත්තා..... නාඩු හාලේ බතට, කිරිකොස් මාළුවත්, මෑකරල් හා කොච්චි මුසුකළ හාල්මැස්සෝ බැදුමත් වැස්සේ සීතලට අහුවෙලා හිටපු අපේ බඩගින්න නිවා සනසාලන්න මහා දායකත්වයක් දුන්නා. දැන් ඉතින් තියෙන්නේ ඊයේ උදේ ඉඳල මේ දක්වා බැහැපු කන්ද ආපහු නඟින එක. මඩොල්සිමට මුහුදු මට්ටමේ ඉඳන් උස මීටර් 1380ක්. එතැන ඉඳන් කොහොනාවලට එදිදි අපිමුහුදු මට්ටමේ ඉඳන් මීටර් 565ක් විතර වෙනකම් පල්ලම් බැහැල තියෙනවා. කෙහොනාවල ඉඳන් ලොග්ගල්ලා ඔයට එදදි තව මිටර 200ක් විතර පල්ලම් බහින්න වෙනවා. ඇත්තටම කිව්වොත් එතැනදි හරියටම උස මුහුදු මට්ටමේ ඉඳලා මිටර් 335යි. කිලෝමිටර 4ක් කන්ද නැඟලා කහටරුප්පට යනකොට අපි මීටර 1050ක් දක්වා උසක් නඟින්න ඕන. ඒකියන්නේ මීටර් 650ක දළ උසක් කිලෝමීටර 4කදි පැය තුනක් තුළ නඟින අභියෝගයක් ගමනෙ අපිට තියෙනවා.......

කළින් ඇති කර ගත්තු සබදතා මත කහටරුප්ප පාරේ අතරමඟ හමුවන ඌරුමීතැන්න ගමේ නිශාන්ත සොහොයුරා මේ දුර යන්න ලොරි රථයක් සපයන්න එකඟ වෙලා තිබුණත් වැටුණු මහ වරුසාව නිසා පාරබෑවුම් පාර ලිස්සන නිසා අද දවසේ නම් ලොරිය පහළට ගේන්න බෑ කියලා ලොරි හිමිකරු දන්වලා තිබුණා. ලැබෙන අභියෝග ආශිර්වාද විදියට භාරගන්න ගමන කණ්ඩායම පා ගමනින්ම මේ දුර එන්න තීරණය කළා. විටින් විට වැටෙන මහවැස්ස ත් සිහින් වන පොද වැස්සත් අතර දෝලනය වෙමින් කාළගුණය අපිට බාධා කරන්න උත්සහ කළත් ගමන අපි වැසි නොතකමින් කන්ද නැංගා. පැය එකහමාරක විතර කාලයකදි අපිට ඌරුමී තැන්නට එන්න හැකියාව ලැබුණා. ඒවෙද්දි අපේ කණ්ඩායම ගොනු දෙකක් විදියට වෙන්වෙලා තිබුණා.....චමත්,මම, කිරුළු, අජිත්, ගිහාන් පළමු කණ්ඩායමටත් ඉතිරි පිරිස දෙවැනි කණ්ඩායමටත් ඇතුළත් වුණා. කඳු නඟින්න ටිකක් විතර අමාරු චානුකත්, කකුළේ හටගත් අපහසුවක් නිසා භාග්‍යත් නැග්ම නැග්ගේ ටිකක් හෙමින්....

ඌරුමීතැන්නෙදි ගව පොරයක බිහිසුණු අත්දැකිමක් ලබන්නට අපේ පළමු ගොනුවේ සාමාජිකයින්ට අවස්ථාව ලැබුණා. ඊට අමතරව අපි හැමෝටම ආදි කාලේ සිට පැවතගෙන ආ භාණ්ඩ ප්‍රවාහන ක්‍රමයක් වුණු “තවලම“
ක් දකින්නත් පුළුවන් වුණා. ඒකේ වීඩියෝව ළඟදිම දාන්නම්....මේ හැම දේමත් බලාගෙන ඌරුමීතැන්නේ නිශාන්ත මහත්තයාගේ කුඹුරේ ගොයම් කැපෙන දවසට රැයක් නවතින්න කරපු ආරාධනාවත් පිළිගෙන මහ වැස්සෙම කහටරුප්පට එනකොට වෙලාව හවස 3.20යි. කළින් දවසේ අපිව බදුල්ලේ ඉඳන් මඩොල්සිමට ගෙනිච්ච කුමාර අයියා වෑන් එකත් අරගෙන ඒ වෙනකොට කහටරුප්පට ඇවිත් හිටියා. කහටරුප්ප බදුල්ල
පාරේ පුංචි තේ කඩේකින් උණු උණු වඩේ, පැටිස්, රොටී හා කෙසෙල් ගෙඩි කාපු අපි කහට එකකකුත් බීලා බදුල්ල නඟරයට එදිදි හවස 4.30යි. අශෝක මහතාත්, භාග්‍යත් අපෙන් සමු අරන් බස් රථ වල යන්න බස් නැවතුමෙන් බැහැල ගියා. ඊට පස්සේ ඉතිරි පිරිස බදුල්ල දුම්රිය පොළට ගිහින් රාත්‍රී තැපැල් දුම්රියේ කොළඹ එන්න තීරණයක් අරන් දුම්රිය පොළට ආවා. බදුල්ලෙදි මහ වැස්ස පොද වැස්සක් වෙලා තිබ්බා...
දුම්රියේ ඉදිරි මැදිරියේ ඉදිරිම ආසන අයිතිකර ගත්තු අපි කසුන් දරශණගේ හිතවතකු වන ඉඳුරුවගේ මහතාගේ සම්බන්ධීකරණය හරහා ලැබුණු කැබ්රයිඩ් පහසුකමත් ලබාගෙන, සාර්ථක ගමනක අවසානය සමරන්න ජයපැන් බොන ගමන් බදුල්ලෙන් ගත්තු කොත්තු වලින් රෑ කෑමත් සපුරගෙන  පහුවදා උදේ 6 විතර වෙද්දි කොළඹට ළඟා වුණා. අපේ ගමන 7 පුරන් අප්පු පරපුරේ සිංහලයින් සොයා කොහොනාවලට ගිය ගමන සුන්දර  අත්දැකීම් රාශීයක් ළඟාකරදෙමින් ඒ විදියට අවසන් වුණා.

මෙතෙක් කලක් ගමනෙන් නොලැබුණු අත්දැකීම් ලබාදෙන්න හැකි විදියේ නවතම ආරක වැඩසටහනක් හැටියට ගමන 8 වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි හිතාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් ඔබේ අදහසත් අපිට ගොඩක් වැදගත් වෙයි. මේ වගේ සුන්දර ගමනක සමාජිකයෙක් වෙන්න අවස්ථාව ඔබට තවමත් තියෙනවා. ඒවෙනුවෙන් https://www.facebook.com/groups/Gamana/ ඔස්සේ ගමන සාමාජිකයෙක් වීමෙන් හෝ 076-6642607/ 077-9613462 යන අංක වලින් විමසීමෙන් අවස්ථාව සලසා ගන්න පුළුවන්.

ඒවගේම “ගමන“ සංචාරක හා ගවේශන කණ්ඩායම සංවිධානය කරන සංචාර හා වැඩසටහන් පිළිබඳ තොරතුරු https://www.facebook.com/gamanateam සබැඳියෙන් අපේ ෆේස්බුක් පිටුවට කැමැත්ත පළකිරීමෙන් පසු නිරන්තරව ලබාගන්නටත් පුළුවන්.

ඉතින් ........ එක්වන්න අප සමඟ ..... අළුත්ම තාලේ සංචාරක අත්දැකීමක් ලබන්නට....

ස්තූතියි.

මම
Gnanendra Pradeep Pathirana