“ගමන‘ ගැන වදනක් තම

ගමන සංචාරක හා ගවේෂණ කණ්ඩායම යනු සාමාන්‍ය සාම්ප්‍රදායික සංචාරක සංස්කෘතියෙන් බැහැරව විධිමත් අරමුණක් ඔස්සේ සිය සංචාරයන් මෙහෙයවන දේශීය සංචාරක ආයතනයකි.

පාරිසරික, සංස්කෘතිමය, ආගමික පසුබිමක් සහිත මෙරට විවිධ ස්ථාන වල තොරතුරු සොයා යාම අපගේ අරමුණ වන අතර එම සංචාරක හා ගවේෂණ පර්යේෂණ චාරිකාවල වාර්තා සහ සටහන්ද, ඡායාරූප හා වීඩියෝ ද සමාජය සමඟ බෙදාහදා ගැනීමට මෙම බ්ලොග් අඩවිය භාවිතා කරනු ඇත.

මෙම අඩවියේ පළවන දෑ වෙනත් අවකාශයක පළකිරීම තහනම් නොවන නමුදු එම පළකිරීම් අවසානයේ උපුටාගත් සබැඳිය පළකිරීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.


Sunday, February 16, 2014

අහිමි සිල්පර සොයා ගිය ගමන - 02

                                   සීතල පිණි බිඳු තැවරුණු තණපත් වැවුණු දෙපසින් යුතු අඩි දෙකක පමණ පලළැති පඩිපෙළ ක ඉහළට නඟින අපගේ ඉදිරියෙන් ගමන් කරන සමරවික්‍රම මහතා විනාඩි දහයක පමණ ගමනකින් පසු  තැනිතලා බිමකට පැමිණ නැවතුනි. එතැන රෝස පාට බිත්ති සහිත ගඩොලින් නිමකළ නිවසක් සහ එම හැඩයටම ලෑලිවලින් වටකළ නිවසක් විය. එක් නිවසක් ඇස්බැස්ටෝස් තහඩු වලින්ද අනෙක් නිවස ටකරන් තහඩු වලින් ද සෙවිලි කර තිබිණි. සමරවික්‍රම මහතා නිවසේ පිරිසට කතා කළ අතර එවිටම මිදුල දෙසින් අප පසුපසින් වයස අවුරුදු හැත්තෑවක් පමන වන පුද්ගලයෙකු කැරට් බීට් සහ කරපිංචා  වැනි එළවළු දෝතින් ගෙන පැමිණියේ “මම මේ වත්ත පහළට ගියා. ගොඩක් කට්ටිය මේ පැත්තට එනව දැකලා තමයි ඉක්මනට ආවේ“ යැයි කියමිනි.

"මේ කට්ටිය ඔබතුමාව හොයාගෙන තමයි ආවෙ"


පසුව අපගේ පැමිණීමේ හේතුව හා විස්තර ඇසූ ප්‍රනාන්දු මහතා  තොරතුරු ලබාදීමට කැමැත්තෙන්ම එකඟ විය. අපගේ කැමරා කණ්ඩායමේ චානුක හා දමින්ද ගේ තීරණ වලට අවනත වෙමින් කිවසේ පුටු සැටියද එහෙ මෙහෙ කොට හරිබරි ගැසුනු එච්. ඒ. ප්‍රනාන්දු මහතා තොරතුරු හෙළිකිරීම ආරම්භ කළේය. ඔහු පැයක පමණ කාලයක් අප පිරිස හා පැවැසූ කරුණු වල සම්පිණ්ඩණය පහළින් සටහන් කරන්නේ  සංක්ෂිප්ත කර සැකසීමකින් පසුවය. (සැ.යු. මෙම කොටස පෙර අවස්ථාවක ගමන සමූහය තුළ පළකෙරිණී.)

                                      1971 දී පමණ වළපනේ රූපහ කරඳගොල්ලේ පදිංචි  එච්. ඒ ප්‍රනාන්දු තරුණයා රජයේ ගැසට් පත්‍රයේ පළවන ‘නියෝජිත දුම්රිය ස්ථානාධිපති‘ තනතුර සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන්නේ එය රජයේ ස්ථීර රැකියාවකැයි සිතමිනි. 1972දී පත්වීම ලබාගන්නා විට දැනගන්නේ එය ලැබෙන ආදායමින් කොමිස් මුදලක් ලැබෙන තනතුරක් බවයි. එහෙත් තම ජීවිතයේ පළමු රැකියාව වන එය කැමැත්තෙන් බාර ගන්නා ඔහු පත්වී එන්නේ  රාගළ දුම්රිය ස්ථානයටය. එය දුම්රිය ස්ථානයක් වුවද ඒ වන විට එම දුම්රිය පොළ වසර විසිහතරකින් දුම්රියක් නොදුටු දුම්රිය පොළකි. නමුත් බඩු ගබඩා දෙකක් වතු ගබඩා එකක් සහ කාර්යාල ගොඩනැගිල්ලකින් හා භාවිතයට නොගෙන අතහැර දැමූ එන්ජින්  හරවනයක් පවා තිබූ විශාල ඉඩකඩක පැතුරුණු මෙම භූමියේ නිසි බළධාරියා වන ප්‍රනාන්දු මහතාට හිමි ප්‍රධාන කාර්යය වූයේ රාගල, උඩුපුස්සැල්ලාව, වලපනේ, හයිෆොරස්ට් වැනි ආශ්‍රිත  ප්‍රදේශවල වැසියන් හා වතු සමාගම් විසින් භාරදෙන භාණ්ඩ සෙසු දුම්රිය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට භාරගැනීම සහ වෙනත් දුම්රිය ස්ථාන වලින් රාගළ දුම්රිය ස්ථානයට ලැබෙන  භාණ්ඩ  අදාළ අයවළුන්ට ආපසු භාර දීමයි. ඔහුට භාර වූ අනෙක් කටයුත්ත වූයේ රාගළ සිට රටේ විවිධ ප්‍රෙද්ශවලට ගමන් ගන්නා දුම්රිය මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමයි. මේ සඳහා
අයකෙරෙන ගාස්තුව ලේඛණ වල සටහන් තබා ඉන් ලැබෙන සියයට ගණනක කොමිස් මුදල ඔහුගේ වැටුප විය. කිසිදින දුම්රියක් නොඑන මෙම දුම්රිය පොළෙන් මෙම ක්‍රියාදාමය සිදුවූයේද අපූරු  ක්‍රමයකටය. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භාණ්ඩ ලොරි සහ කොන්ත්‍රාත් පදනමින් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි
මගින්  නානුඔය දුම්රියපොළින් මෙම දුම්රියපොළට භාණ්ඩ රැගෙන ඒ, ඒ අතර වතුවලට ගෙනෙන හාල්, පිටි. සීනි හිස් තේ පෙට්ටි ආදියද සමූපකාරයට ගෙනෙන භාණ්ඩද සාමාන්‍ය ජනතාවට ලැබෙන පොල්, මාළු,
හාල් ආදියද වේ. එසේ භාණ්ඩ රැගෙන ආ ලොරි වලට  මෙම දුම්රිය ස්ථානයට ලැබෙන අපනයනය සදහා යැවෙන තේ පෙට්ටි, මල් වර්ග හා එළවළු ආදිය නැවත පටවා නානුඔය දුම්රිය පොළට යවයි. නානුඔයෙන් දුම්රිය පිටවෙන වේලාවට සමගාමීව රාගල දුම්රියපොළෙන් පිටවන ලංගම බස්රථ මගින් නානුඔය දුම්රිය පොළට මගීන් රැගෙන යන අතර ඒ සදහා මගියාට දුම්රියපොළෙන් ලැබෙන දුම්රිය ප්‍රෙව්ශපත්‍රය පමණක් සෑහෙන අතර බස්රථය සදහා වෙනම ප්‍රෙව්ශපතක් ගත යුතු නැත. නානුඔයෙන් දුම්රියට ගොඩවන මගියාට තම ගමනාන්තය කර අවශ්‍යපරිදි දුම්රියෙන් යා හැක. මෙම ආකාරයට දුම්රියෙන් අනුරාධපුර වන්දනාවේ සහ මඩු වන්දනාවේ ගිය පිරිස් අදද මෙම ප්‍රදේශවල සිටී. මනා අවබෝධයෙන් හා සංවිධානාත්මක ආකාරයෙන් විවෘත ආර්ථිකය මෙරටට හදුන්වාදෙන තුරු ක්‍රියාත්මක වූ මෙම ක්‍රියාවලිය ඉන්පසු නොවැදගත් මට්ටමකට පත්වූයේ ප්‍රවාහන මාධ්‍යයන්ගේ සුලභ බව නිසාය.  එවකට පැවැති රජය විසින් 1979දී මෙම ක්‍රමවේදය අතහැර දමන ලද අතර රාගල දුම්රිය ස්ථානයේ අවසාන දුම්රිය ස්ථානාධිපති වූ ප්‍රනාන්දු මහතා ඉන්පසු අනුයුක්ත වූයේ ප්‍රවාහන අමාත්‍ය හා බොරැල්ල ආසනයේ මන්ත්‍රී එම්.එච්. මොහොමඩ් මහතාගේ ආසනයේ අළුතෙන්ම ඇරඹි උප දුම්රිය පොළ වූ දෙමටගොඩ උප දුම්රිය පොළටය. එහි විවෘත කිරීමේ උළෙලේදී ප්‍රවාහන අමාත්‍යවරයාට මුල්ම ප්‍රෙවේශපත්‍රය පිරිනමන්නට කටයුතු කරන ප්‍රනාන්දු මහතා 2000දී පමණ විශ්‍රාම ගොස් දැනුදු රාගල දුම්රිය පොළට නුදුරු පැරණි දුම්රිය ස්ථානාධිපති නිල නිවසේ සිය දරු මුණුපුරන් සමග කළ දවස ගෙවයි. 1972දී ඔහුගේ මාසික කොමිස් ආදායම රුපියල් 270ක් බව සදහන් කරන ප්‍රනාන්දු මහතා එය එකළ තම විදුහලේ විදහල් පති වරයාගේ මාසික වැටුපට වඩා රුපියල් 20කින් වැඩි මුදලක් බව ආඩමිබරයෙන් පවසයි. 1979දී ඔහුගේ මාසික ආදායම රුපියල් 700ක් පමණ වූ බව හෙතෙම පවසයි.
                         
                                ගමන ගවේශණ හා පර්යේෂණ කණ්ඩායම පසුගියදා සිදුකළ “අහිමි සිල්පර සොයා රාගළ සිට නානුඔයට- උඩුපුස්සැලලාව පැරණි දුම්රිය මාර්ග ගවේශන චාරිකාවේ“ දී  තොරතුරු සපයා ගැනීමට මනා පිටුබලයක් ලබාදුන් එච්. ඒ. ප්‍රනාන්දු මහතා  අපේ පිරිසට තොරතුරු වලින්ද, මූලාශ්‍ර ලබාගත හැකි පුද්ගලයින් සම්බන්ධීකරණයෙන්ද, මාර්ගයේ විහිදීම හදුනාගැනීම පහසු කරණ මං සළකුණු පහදා දෙමින්ද දායක වූයේ සිය රැකියා ස්ථානය පිළිබද වූ  මනා ලෙන්ගතුකමකිනි. නානුඔය සිට රාගල
දක්වාම දුම්රිය මාර්ගයේ අද වන විට හිමිකරුවන් වී ඇත්තේ අනවසර පදිංචිකරුවන්ය. දමිළ මෙන්ම සිංහල දේශපාලඥයින්ගේ බලපුළුවන්කාර කම් වල සවියෙන් රජයට අයත් මෙම දේපළ යළිත් දුම්රිය මගක් වනු දැකීමට මෙම අනවසර පදිංචිකරුවන් නම් මොහොතකටවත් කැමති නැත. තම රැකියාව නිසාවෙන් රජයෙන් ලැබුණු නිල නිවාසයේ රැදුණු සොදුරු ජීවන මතකයන් හැරදමා යන්නට අකැමති වූ එච්. ඒ. ප්‍රනාන්දු මහතා තවමත් ජීවත් වන්නේ එම නිල නිවාසයේමය. දැන් එය දුම්රිය දෙපාර්තමේන්තුවේ අයිතියෙන් ගිලිහී රජයේ අයිතියට පත්වී දිසාපති තුමා සතුවී ඇත. තමන්ගේ නිල නිවාසය තුළම රජයේ අනවසර පදිංචිකරුවෙකු වශයෙන් භෞතීස්ම ලබන ඒ මහතා එදා පැවැති තත්වයෙන් ඒ ගාම්භීරත්වයෙන් තම නිල නිවස පවත්වාගැනීමට අදද උත්සහයෙන් කටයුතු කරයි. බඩු ගබඩාවට කොන්ත්‍රාත් පදනම මත පැමිණි සිය ලොරිය නවතාගන්නට අඩි දහයක ඉඩක් බලපත්‍රයක් මත ලබාගත් පුද්ගලයෙකු එම කොටසට යා යුතු මාර්ගයද
තමා සතු කොටගෙන විශාල තෙමහල් ගොඩනැඟිල්ලක් රාගල නඟරයේ ඉදිකර ව්‍යාපාර පවත්වාගෙන යනයුරු බලා සිටින ප්‍රනාන්දු මහතා පවසන්නේ තව වසර දහයක් යන විට දුම්රිය පොළට අදාළ කිසිදු සළකුණක් රාගල නගරයේ ඉතිරි නොවනු ඇත කියාය.

ඔහුගේ අදහස් දැක්වීමෙන් පසුව අපි අපේ හඩ යළිත් අවදි කළෙමු.
“දවසකට ලොරි කීයක් විතර ආවද?“
“1970 විතර වෙද්දි සමූපකාරයට, වතු ජනතාවට සලාක ආහාර ලෙස හා වතු වල භාන්ඩ ප්‍රවාහනයට සතියකට ලොරි හතලිහක් පණහක් ආවා. මුලදි භාණ්ඩ ප්‍රවාහනය කලේ දුම්රිය දෙපාර්තමේන්තුවට හා ආහාර දෙපාර්තමේන්තුවටඅයිති ලොරි වලින් ... ඒත් පහු වෙනකොට කොන්ත්‍රාත් ක්‍රමයට ගත්තු ලොරි වලින් භාණ්ඩ ප්‍රවාහනය කරනකොට විශ්වාසනීයත්වය නැතිවුණා. භාරදෙන බඩු මඟදි හොරකම් කළා. ප්‍රෙව්ශමක් නැතිව ගියා. එතකොට වතු වලින් තම තමන්ගේ ප්‍රවාහන ක්‍රම හදාගත්තා 1979 විතර වෙද්දි සතියටම ලොරි දහයක් දොළහක් තමා ආවෙ.“

“ඔබතුමා රාජකාරීමය වශයෙන් වගකීවෙ කොළඹටද? නාවලපිටියටද?“
“නාවලපිටියට. මගේ වැටුප පවා ගෙව්වෙ නාවලපිටියෙන්. මම නාවලපිටියට ලියුම් ලියපු පොතේ පිටපත් තාම මගේ ගාව තියෙනවා. මම නාවලපිටියෙ තිබුණු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ රැස්විම් වලට පවා යනවා.“
අපි ඔහුගේ රාජකාරි ලේඛණ වල පිටපත් පරීක්ෂා කළෙමු. භාණ්ඩ නැතිවීම, මාර්ග බිල්පත් නොමැතිව භාණ්ඩ නිදහස් කිරීම, ලොරි රථ ප්‍රමාදය ගැන පැමිණිලි සහිත  එම ලේඛණ පිටපත් සුන්දර අතීත කථාවක යටිපෙළ ගොඩනඟයි.
“ඇයි උඩුපුස්සැල්ලාවට දුම්රිය මාර්ගයක් හැදෙන්න ඇත්තේ.. “ අපගේ ප්‍රශ්ණය ඔහුගේ සීමාව තුළ වලංගු නොවූවද  ඔහුගේ මානයෙන් නිවැරදිම පිළිතුර අපට ලැබිණි.
“ඒ කාලෙ නුවරඑළියෙන් රාගලට, උඩුපුස්සැල්ලාවට වෙනකම්ම තේ වතු හැදුණා. මේ තේ වතු බ්‍රිතාන්‍ය යේ හිටපු හොඳම සල්ලිකාරයින්ගේ වතු. හැබැයි නුවරඑළියට ළඟ වුනාට ප්‍රවාහන පහසුකම් නම් එතරම් හොඳට තිබිලා නැහැ. මෙහෙ කැලෑ වල අලි පවා ඉඳල තියෙනවා. මේ නිසා භාණ්ඩ ප්‍රවාහනය සේවක කෑම බීම වගේ දේවල් වල ගැටළු නිසා උපරිම ලාභ ගන්න බැරිවුනා. අනෙක බදුල්ල ට හැතැප්ම 50ක් විතර දුරයි. එහෙට පාරකුත් නෑ. මේ නිසා තමයි දුම්රිය මාර්ගයක් ඉල්ලලා රජයට බලකලේ. ඒ බලපෑම කොච්චර ප්‍රබලද කියනව නම් බදුල්ලට රේල් පාර යන්න කලින් රාගලට පාරක් හැදුනා.“
“රාගලින් පාර දෙකට බෙදුනා කියන කතාව ඇත්තද?“ සමරවික්‍රම මහතාද සිය අදහස ගැටළුවක් කර ප්‍රනාන්දු මහතාට එල්ල කළේය.
“ඔව්. එහෙම එකක් වෙලා තියෙනවා. හැබැයි මම මෙහේ වැඩ බාර ගන්න කොට රේල් පාර තිබුණෙ නෑ. ඒත් දැන් ඔය නගරය ඇරඹෙන තැන තියෙන මහජන බැංකුව ළඟින් වමට තියෙන පාරේ අතුරු රේල් පාරක් වැටිල තිබිල තියෙනවා“
“එහෙමද? ඒ කොහාටද?“
“ඒක තමයි රාගල වතු ගබඩාව ට ගිය දුම්රිය පාර.....හැරෙන තැන ඉඳල මීටර 600ක් විතර ඇති.“
“ඉතින් ඒක මංසන්ධියක් වෙන්නෙ කොහොමද?“
“ඒක වෙන්නෙ මෙහෙමයි. බෘක්සයිඩ් ඉඳල එන අතරමඟින් හැරිලා ඉවතට යන පාරක් නිසා තමයි ඒක මංසන්ධියක් විදිහයට හිතෙන්නේ. මොකද රාගල දුම්රියපොළට එන්නේ නැතිව කෝච්චියට වතු ගබඩාවට යන්න පුළුවන් කම තිබුණනෙ. කෝච්චි දුවන කාලෙ ඔතැන පීලි මාරුකරන ලීවරයක් දමල සේවකයෙක් ඉඳල තියෙනවා. වත්තට එන බඩු ඒ පාරෙන් හරවලා ගියා.දුම්රිය පොලට බඩු ගේනකොට කෙලින්ම ආවා. හැබැයි අද විශාල දුරක් වගේ පෙනුනට මහජන බැංකුව ගාව ඉඳන් අක්කර 5-6
ක් දුම්රිය දෙපාර්තමේන්තුවට අයිතියි. එදා ඔය ඔක්කොම පාලනය වුණේ රාගල දුම්රිය පොළෙන්. “
රාගල දුම්රිය මංසන්ධියක් කියල සමරවික්‍රම මහතා පැවසූ අදහස ප්‍රනාන්දු මහතා විස්තර කළේ ඒ විදියට. මම නම් හිතන්නේ ඒක මංසන්ධියක් වෙනුවට අතුරු දුම්රිය මාර්ගයක් කියල කිව්වනම් නිවැරදියි කියලා. අඹේපුස්සෙ ඉඳල ගල්කොරියට යන දුම්රිය පාර වගේ එකකට කියන්නේ අතුරු මාර්ගයක් නම් මේකත් අතුරු මාර්ගයක්.

                              අපි ප්‍රනාන්දු මහත්මයාගේ නිවසින් සමු අරගෙන ඒ සඳහන් කළ දුම්රිය පාර දිගේ වතු ගබඩාවට ගියා. ඒ මාර්ගය පටන් ගන්නේ බෘක්සයිඩ් ඉඳල එනවිට රාගල මහජන බැංකුවට හරියටම ඉදිරිපසින්. එතැන හතරමං හන්දියක්. දුම්රිය පාර අංශක 30-40ක විතර ආනතියකින් යුත් කන්දකින් තමා අතුරු මාර්ගයට හැරෙන්නේ. මෙහෙම ආරම්භවෙන නැග්ම මීටර 300ක් විතර යනකම් එක සීරුවට නැග්ම
එතැන තියෙන පැරණි තානායම ගාව ඉඳල තැනිතලා පාරක තවත් මීටර 200ක් ගියහම ගබඩාව හමුවෙනවා. අඩි සියයක් විතර දිග අඩි විස්සක් විතර පළල ගබඩාව අද වෙනකොට සමූපකාර තොග ගබඩාව විදියට
භාවිතා කරනවා. අපිත් එක්ක මඟ පෙන්වන්න ආව රාළහාමි සීයා එහෙමත් නැත්නම්  බී.ඩබ්. යසරත්න මහතා කියන විදියට 1960ට කළින් රාගල නගරයේ කූඩාරමක් ගහලා චිත්‍රපටි පෙන්වලා තියෙනවා. ඒ කූඩාරම තිබිල තියෙන්නේ මෙම ස්ථානයට යාබද ඉඩමේ. ඒකාලේ වත්තෙ වැඩකරපු දෙමළ කම්කරුවොත් එක්ක උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු චිත්‍රපට වගේම සිංහල චිත්‍රපටත් බලපු හැටි ඔහු අපිට කීවෙ රස කර කර.

                                ප්‍රනාන්දු මහතාගෙනුත්, සමරවික්‍රම මහතාගෙනුත් සමුගත්තු අපි ඊළඟට සූදානම් වුණේ දුම්රිය පාර දිගේ බෘක්සයිඩ් දක්වා වගතුග හොයාගෙන යන්න. රාළහාමි සීයට වැඩකුත් නැති එකේ අපිත් එක්ක බෘක්සයිඩ් වෙනකම් යන්න කියල සමරවිත්‍රම මහතා යෝජනා කළහම අකමැත්තක් තිබුණෙ නැති නිසා එයාවත් අපේ වාහනේට නංවා ගත්තා. මොනවද අපිට දකින්නට  ලැබුණු දුම්රිය මාර්ග යේ සළකුණු කියල ඊළඟ ලිපියෙන් කියන්නම්.

(මේ සටහන පළකරන්නට මොහොතකට පෙර නුවරඑළියේ සිට මා ඇමතූ අපේ දර්ශන සහෝදරයා සඳහන් කළේ බ්ලැක්පූල් වල ඉතිරිව තිබූ ස්වභාවික ගල සිදුරු කළ දුම්රිය  බිම්ගෙයත්, නුවරඑළිය පාරේ සිට දුම්රිය මාර්ගයේ නාය යෑම් වැලැක්වීමට ඉදිකළ කොන්ක්‍රීට් බැමිත් මේ මොහොත වන විටත් මාර්ගය පුළුල් කිරීම් නිසා පුපුරුවා හැර ඇති බවයි. ඒ අනුව ඒවා සියැසින් දකින්නට ,හඳුනාගන්නට හා ඡායාරූප ගන්නට වාසනාවන්ත වූයේ ගමන සංචාරක හා ගවේශන කණ්ඩායම පමණක් බව පැහැදිලිව කිව හැකිය. ඒ තොරතුරු මීළඟ ලිපි වලින් ඔබ වෙතට ගෙන එන බව සලකන්න.)

ඔබත් සංචාරයට, ගවේෂණයට කැමති සහෘදයෙක්නම් එකතුවෙන්න අපිත් සමග - "ගමන - සහෘදත්වයේ සොදුරු සැරිසර" https://www.facebook.com/groups/Gamana/

ගමන සමූහය වෙනුවෙන් සටහන - Gnanendra Pradeep Pathirana